Editorial Column - Silumina News Paper - Very Useful - TopicsExpress



          

Editorial Column - Silumina News Paper - Very Useful Article බොරදියේ මාළු බාන්න එපා ග ංවතුරට කෙත්වතු යටවෙයි. වගා පාළු වෙයි. එළවළු මිල නගී. මිල නඟින්නට හේතුව ගංවතුර බැව් කුඩා දරුවනට වුවද වැටහෙයි. එහෙත් ඒ බැව් නොතේරෙන අඳ බාලයෝ ද සිටිති. ඒ දේශපාලන ක්ෂේත්‍රයේය. ඔවුහු පවසන්නේ එළවළු මිල නඟින්නේ ආණ්ඩුවේ වරදින් කියාය. නියඟය එයි. වැස්ස නැත. පොළොව ඉරි තළයි. ගහකොළ වේළෙයි. වගා පාළු වෙයි. එළවළු මිල නඟී. මිල නඟින්නට හේතුව නියඟය බැව් පොඩි එවුන්ට පවා තේරෙයි. නියඟය ද වැස්ස ද නිසා එළවළු හිඟයක් මැවේ. එවිට මේ දේශපාලකයෝ පතෝල කරලක් ගෙන බස් එකට නඟිති. “පතෝල කීය ද?” “එකසිය පනහයි.” “බලන්ඩ... ආණ්ඩුවෙ වැරැද්ද?” එවැනි ස්වාභාවික ව්‍යසනයන් නිසා ඇතිවන අපහසුතා ආණ්ඩුවේ ගිණුමට බැර කිරීමට මේ දේශපාලකයෝ බොහෝ හපන්නුය. සුළං දැඩි වෙයි. කුණාටු බවට පත්වෙයි. මුහුද කැලඹෙයි. දියඹ වියරු වැටේ. මුහුදු ගිය ධීවරයෝ අසරණ වෙති. ඔරුව ඒ මේ අත පැද්දෙයි. සුළඟ තවත් දැඩි වෙයි. ඔරුව පෙරළෙයි. මහා විනාශයක් සිදුවෙයි. “බලන්ඩ... ආණ්ඩුවේ වැරැද්ද” ස්වාභාවික විපත් නිසා ඇතිවන එවැනි අපහසුතා ආණ්ඩුවේ ගිණුමට බැර කරමින් දොස් පවරනවා හැරෙන්නට ඔවුන් කරන කිසිම දෙයක් නැත. “නියං කාලයේදී වතුර බෝතලයක්වත් දෙන්නේ නැත. වැස්ස කාලයට පොල් අත්තක්වත් දෙන්නේ නැත.” ඒ හැමදේකටම ආණ්ඩුවට දොස් පවරයි. ඔවුන්ගේ ජොබ් එක දොස් කිය කියා තැනින් තැන යාමය. ඉන්පසු ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව කීමය. ඒ සඳහා උද්ඝෝෂණවලට එන්නැයි ඉල්ලා සිටීමය. පසුගියදා ඇතිවූ කුණාටුව නිසා ධීවරයන් විපතට පත්වීමේදී ද මේ දේශපාලකයන් අනුගමනය කළේ ඒ ප්‍රතිපත්තියමය. ඔවුහු බොරදියේ මාළු බාන්නෝ වෙති. බලා සිටින්නේ කුමන හෝ හේතුවක් නිසා දිය බොර වන තුරු ය. අවමඟුල්වලට යන්නේ ද ශෝකය පළ කිරීමට වඩා මේ ව්‍යසනය දේශපාලන අවියක් කරගැනීමටය. අවශ්‍ය වන්නේ විපතට පත්වූවන්ට කිසියම් හෝ පිහිටකි. එහෙත් එවැන්නක් ගැන කතාවක් නැත. ජාතික ව්‍යසනයකදී ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කර ඔවුන්ට පිහිට වනවා වෙනුවට සොහොන් පිටිය ද දේශපාලන පිටියක් බවට පත්කිරීමට උත්සාහ දැරීම බංකොළොත් දේශපාලනයක ලකුණක් මිස අනෙකක් නොවේ. වෙන ඕනෑම රටක එවැනි විපත්තිවලදී කුඩුකේඩු සිතිවිලිවලින් මිදී සියලු සංවිධාන ජනතාවගේ යහපත වෙනුවෙන් ඒකරාශි වෙද්දි අපේ රටේ ඇතැම් දේශපාලකයන් බොර දියේ මාළු බාන්නන් සේ කටයුතු කිරීම කනගාටුදායක ය. දැන් මේ කුඩුකේඩු දේශපාලනයෙන් ගැලවී හරවත් දේශපාලනයකට අවතීර්ණ විය යුතු කාලයයි. ජනතා ප්‍රසාදය ලැබෙන්නේ එවන් විපක්ෂයකට විනා කුඩුකේඩු විපක්ෂයකට නොවේ.
Posted on: Sun, 16 Jun 2013 00:39:03 +0000

Recently Viewed Topics




© 2015