ඉකුත් දෙසතියෙහි අප - TopicsExpress



          

ඉකුත් දෙසතියෙහි අප සිටියේ දස බිම්බරක් වූ මාර සේනාවත්, තණ්හා - අරති - රගා යන මාර දූවරුන් තිදෙනාත් සමඟ ය. නේරංජරා නදී අසබඩ ගයාහිස ඇසතු රුක් මුල්හිදී කරන ලද මාර පරාජය සිහි වත් ම, අපගේ සිතින් බැහැර කළ නොහෙන ගීතයක් සිහියට නැ‍ෙඟයි. පණ්ඩිත් අමරදේවයන් ගයන “පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ” යනු විසින් අරඹන ඒ ගීතය රචනා කරන ලද්දේ, සුපූජිත ගීත ප්‍රබන්ධකයකු වූ චන්ද්‍රරත්න මානවසිංහයන් විසිනි. දුර්භාවිත පද රචනයෙන් ද, අසංවර ගායනයෙන් ද, ඝෝෂාකාරී ඉලෙක්ට්‍රෝන සංගීතයෙන් ද ඔද්දල් වුණු මෙසමයේ නවීන ශ්‍රාවකයනට, මානවසිංහ ද අමතක වුණු නමකි. රූපසිංහ මාස්ටර් ද සමඟ රුක්මණී දේවිය ගයන ‘බුද්ධගයා විහාරේ’ ගීතය ගැන කතා කරද්දී, මගේ යටි සිතෙහි දිගටම ප්‍රතිරාව දුන්නේ, අමරදේව ගයන ‘පාරමිතා බල’ ගීතයේ ‘මාර පරාජය කළ මුනිඳුන්ගේ - කරුණා සීතල මෙත් දහරා’ යන පද පෙළ ය. අමරදේවයන් ගයන ඒ ගීතය, කවරම ශ්‍රාවකයකු තුළ මුත් චමත්කාරය දනවන සංයත අර්ථසම්පන්න ගම්භීර ගායනයකි. අමරදේවයන් ‘කරුණා සීතල මෙත් දහරා’ යන වදන් කිහිපය ගයන්නේ, භාවාත්මක ආවේශයකින් මෙනි. එවදන්ද, ඒ රන් ස්වරය ද, ඒ හා බැඳුණු ඉසියුම් සංගීතය ද, අප හදවත්හි තන්ත්‍රීන් අප්‍රමාණ ස්නේහයකින් පිරිනමනු දැනෙන්ට වෙයි. පාරමිතා බල පූරිත පූජිත ‍බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයාණෝ මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා සීතල මෙත් දහරා ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගී තනුව, සංගීතය සහ ගායනය - පණ්ඩිත් අමරදේව කිසියම් ගීතයක ජනප්‍රියත්වය, එකකි. සාර්ථකත්වය, තවෙකකි. ජනප්‍රියත්වයත් සාර්ථකත්වයත් යන දෙකම එක්තැන් වීම අතිශයින් ම දුර්ලභ සිද්ධියකි. මේ වනාහි, ඒ දුර්ලභ සිද්ධියට හොඳම දෘෂ්ටාන්තයකි. එවන් ප්‍රාතිහාර්යයක් සිදු වන්නේ කෙසේද? මා තුළ දැඩි විශ්වාසයක් ඇතුවාට ද නොවේ. ඇතැම් විට, පාඨකයා මා සමඟ එකඟ නොවන්නට වුණත් පුළුවන. කව්පද බඳින අයට - මෙතැන්හිදී ගීපද බඳින අය ද ඇතුළත් ය. “දුහුනත් දැනුම් සඳහා” පතිරජ පිරුවන්පති මාහිමියන් විසින් කරන ලද සිදත් සඟරාව නම් කියා සිටින්නේ, “ඉති වියරණ දැනැ - කිවියර පද බඳනා ඉටුනිටු ගණකුරු ඈ - ලකුණු විමසා බඳනේ” කියා ය. ඒ කියන්නේ, කව් ගී බඳිද්දී, ඉෂ්ට අනිෂ්ට හෙවත් සුබ අසුබ ගණයන් සලකා, ඒ කටයුත්තෙහි යෙදිය යුතු බව ය‍. දැන් ඉතින් ගණ ගැන ද කතා කරන්ට සිදුව ඇත. ඡන්දස් ශාස්ත්‍රයෙහි ගණ, අට වැදෑරුම් වෙයි. ඒ අටෙන් හතරක්, ඉටු හෙවත් සුබ පක්ෂයෙහි ය. අනෙක් හතර, අනිටු හෙවත් අසුබ පක්ෂයෙහි ය. සුබ වශයෙන් ගැනෙන්නේ භූමි, දේව, චන්ද්‍ර, ජල යන ගණයන් ය. ඒ ගණ හතර - ම ගණ, න ගණ, බ ගණ, ය ගණ යනුවෙන් ද දන්නා ලැබෙයි. අනිටු පැත්තෙහි රවි, අග්නි, වායු සහ ආකාශ යන ගණ හතර ය. ඒ ගණ හතර - ජ ගණ, ර ගණ, ස ගණ, ත ගණ යනුවෙන් ද හැඳින්වෙයි. හැම ගණයකටම ගුරු හෝ ලඝු හෝ අකුරු කැටි තුනකි. එතැන අකුරු වශයෙන් ගැනෙන්නේ, සැබැවින් ම මාත්‍රාවන් ය. අකුරකට මාත්‍රා එකක් හෝ දෙකක් හෝ ඇතැම් විට තුනක් හෝ ඇතිවිය හැකි ය. “ඒකමාත්‍රඃ භ්‍රස්වෝ භවේත් ව්‍යඤ්ජනත්තු අර්ධ මාත්‍රකං” යනු කී හෙයින්, ලුහුවක මාත්‍රාවක් ද, හල් අකුරක මාත්‍රා අර්ධයක් ද තිබිය හැකි ය. ඉටුනිටු ගණකුරු ගැන ඊට වඩා කතා කිරීමෙන් පාඨකයාගේ සිත බර කරන්ට ද, ඔහු යටකී අප‍ූරු ගීතයෙන් වෙනතකට ගෙනයන්ට ද, මගේ කැමැත්තක් නැත. එතෙකුදු, මානවසිංහයන්ගේ මෙම ගී පද බැඳුමට අදාළ ව තව එ‍ක කරුණක් පමණක් කියනු කැමැත්තෙමි. මේ බැලුව මැනවි. “පාරමී - තාබල - පූරිත - පූජිත” ඒ හැම තැනකම වචන කැටි වෙන්නේ, ගුරු එකකුත් ලඝු දෙකකුත් වන අයුරිනි. එවන් වචන කැටීම හතරකි. ඒ අනුව මෙම ගීය අරඹින්නේ, චන්ද්‍ර ගණය හෙවත් බ ගණය යන ඉතා සුබ ගණයකිනි හෙවත් ඉටු ගණයකිනි. පසු කලෙක මෙම ගීතයට පරිකතාවක් ලියමින්, පණ්ඩිත් අමරදේවයෝ මෙසේ පැවසූහ. “රන්මුතුදූවේ “පාරමිතා බල” ගීතය ලියන්ට, මානවසිංහ තෝරාගත්තෙත් ශේෂා පළිහක්කාර, ඇත්ත වශයෙන් ම, ඒ ගීතය වෙසක් තොරණක් පසුබිම් කරගෙන ගායනා කරන ගීතයක්. ඊට පස්සේ හැම වෙසක් තොරණකටම මේ ගීතය නැතුවම බැරි වුණා. “පාරමිතා බල” ඉතාම ජනප්‍රිය වුණු ප්‍රබල ගීතයක්. මෙම ගීතයේ මුල් පදයේ ගණ පිහිටීම ඉතාම සුබ බව, මානවසිංහ ඒ දවස්වල කිව්වා මට මතකයි.” (ගී සර මුවරද - අමරදේව - සංස්කරණය - ඩබ්ලිව්.ඒ. අබේසිංහ - පිට 75) මෙතැන්හිදීම, සිහියට නැ‍ඟෙන විශේෂ කාරණයක් ද වෙයි. අමරදේව, භාරත දේශයෙන් සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා ආපසු දිවයිනට පැමිණියේ 1958 වස‍රේදී ය. ඔහුට ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පවරන ලද්දේ ඒ ආසන්න කාලයකදී ය. අමරදේව කරුණු හෙළි කරන හැටියට ඔහුට එම කටයුත්ත පවරන ලද්දේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුප්‍රකට නාට්‍යවේදියකු වූ ශේෂා පළිහක්කාර විසිනි. චන්ද්‍රරත්න මානවසිංහත් අමරදේවත් අතර ගොඩනැඟී තිබුණු මිත්‍රත්වය වඩාත් අර්ථවත් වන්නේ ඉනික්බිතිව ය. සැබැවින් ම, ගී පද රචකයකුගේත් සංගීතඥයකුගේත් හොඳම සංයෝගය හෙවත් සුසංයෝගය පිළිබඳ මුල් ම නිදසුන, අමරදේව - මානවසිංහ අතර වූ සුන්දර බැඳීම ය. ඒ බැඳීමට අමතරව මානවසිංහ නැමැති සුන්දර මිනිහා පිළිබඳව අමරදේව මෙවන් සටහනක් ද තබයි. “මානවසිංහ ඉතාම සුන්දර මිනිහෙක්. මාත් විමලාත් රහසින් විවාහ වෙලා ගියෙත් මානවසිංහගෙ ගෙදරට. එදා ඔහු මට වියදමට කියලා රුපියල් දෙසීයකුත් දුන්නා, අද වගේ මට මතකයි. (ගී සර මුවරද - අමරදේව - සංස්කරණය - ඩබ්ලියු. ඒ. අබේසිංහ - පිට 75) ඉටු ගණකුරු යෝගයේ බලපෑම දැයි කිව නොහැක. කෙසේවතුදු, සංගීතඥයකු ද ගායකයකු ද හැටියට, අමරදේවයන්ගේ ස්වර්ණමය යුගය ඇරඹුණේ, පාරමිතා බල ගීතයෙන් පසුව ය. පසු කලෙක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පැවසූ පරිදි “සෑම සිංහලයකුගේ ම හදවත් ඒ හඬට අනුකම්පනය වන්ට” පටන්ගත්තේ, ඉන් අනතුරුව ය. කිසියම් ගීතයක් සාධුතර වන්නේ, ගණකුරු යෝගයෙන් නොව, ප්‍රතිභාන්විත කවිත්වයෙනුත් රමණීය පද සංයෝජනයෙනුත් බවට හොඳම නිදසුන සපයන්නේ ද, ඉටු ගණකුරු යෝගයෙන් අරඹන මානවසිංහයන්ගේ එකී පද රචනයමැයි. මොහොතකට එහි පද කිහිපයක් විමසා බලමු. වෙසක් පොහෝ දිනයෙහි දිනූ සේකැයි කවියා කියන්නේ “බුද්ධ දිවාකරයාණෝ ය. දිවාකර යනු හිරුට නමකි. ඒ දවස බිහි කරන අරුතිනි. හිරුට දිනමිණ, දිනියුරු, දිවයුරු ආදී පදද යෙදිය හැකි ය. බුදු යන පදය සමඟ දිවයුරු යන පදය එක් කොට සමාසගත කළ හැකි ය. එවිට කියවෙන්නේ “බුදු දිවයුරු” කියා ය. ඒ අරුතම ඇතිව “බුද්ධ දිවාකරයාණෝ” යයි කී විට, ඇති වන වෙනස විමසුව මැනවි‍. ඒ ගම්භීරත්වය බිහිවන්නේ, මානවසිංහයන්ගේ සුභාවිත කවිත්වය තුළිනි. “පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි” යන ගී පද කෙරෙහි ද සාවධාන වුව මැනවි. මෙතැන්හි කවියා තත්සම පද බහුල මිශ්‍ර සිංහලය යොදාගන්නා අපූරුව විමසන්න. “පුණ්‍ය මහෝදධී” යනු, පින නමැති මහ සයුර ය. නැතහොත් බුදුහිමියන් සැදැහැතියන්ගේ පිනට, මහ සයුරක් වන බව ය. සඟ ගණ, පින් කෙතක් හෙවත් පුඤ්ඤ බෙත්තං ය. බුදුරදුන් පින් කෙතක් නොව, පින් සයුරක් ය. මානවසිංහයන් එකී චින්තන මාර්ගයෙහි ඉදිරියට යමින්, නිර්මාණය කරන පුණ්‍ය මහෝදධි යන කවි රූපයේ ප්‍රතිභාමත්බව අපූර්වයක් නොවන්නේ ද? එපරිදි ම “මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා සීතල මෙත් දහරාවන්” තුන්ලෝ තලයේ ම ගලා බසින බවක් කියන කවියා එමඟින් දුක් ගිමන් ද නිවෙන බව සඳහන් කරයි. ප්‍රතිභාවත් කවිත්වයත් බසෙහි වෙසරද බවත් එක් වූ තැන බිහි විය හැක්කේ, අපගේ ප්‍රස්තුතයට ලක්වන මෙම ගීතය බඳු නිර්මාණයක් ම පමණි. මානවසිංහයන්ගේ මෙම අමරණීය ගීතයේ නිර්මාණ අපූර්වය, ගීතය අරඹන ඉටු ගණකුරු යෝගයට නඟන සරදම් සිනා හඬ ද ඇතැම් විට ශ්‍රාවකයාටත්, පාඨකයාටත් ඇසෙන්නට බැරි නැතැයි මට සිතෙයි! මෙම තීරුව අවසන් කරන්ට ම‍ත්තෙන්, පාරමිතා බල ගීතය පටිගත කිරීම පිළිබඳ අමරදේවගේ අත්දැකීමක් ද සටහන් කර තබනු කැමැත්තෙමි. දැන් යළිත් පණ්ඩිත් අමරදේවයන්ට සවන් දුන මැනවි. “ගීතය පටිගත කෙළේ, හැඳල ගුණරත්නම්ගේ චිත්‍රාගාරයේ. එහිදී ලංකාවේ අතිශූර වාදන ශිල්පියකු වූ ඇම්.කේ. රොක්සාමි, තබ්ලා වාදනය කෙළේ ඩී.ආර්. පීරිස්. ගීතය පටිගත කෙළේ මිශ්‍රා නමැති ඉන්දියානු ජාතිකයෙක්.‍ මම ගීතය ගායනා කරනවා. නමුත් මිශ්‍රා එය පටිගත කරන්නෙ නැහැ. ඔහු ගීතයට සවන් දීගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි කියලා. ඔහු මෙහෙම කියනවා. “I am enthralled by your melody. I forget to record.” ගීතය පටිගත කෙරුණේ, මිශ්‍රා ඒ මෝහනයෙන් මිදුණාට පසුවයි. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ දිවයින පුන්කලස 2013 අගෝස්තු 11 https://youtube/watch?v=hXGIN95eJjc
Posted on: Sat, 27 Sep 2014 03:45:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015