පුවත්පත්කලාවේදී - TopicsExpress



          

පුවත්පත්කලාවේදී ආචාරධර්මයෙන් සදාචාර පුවත්පත්කලාවේදයකට මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි කොළඔ විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාවේදී ඩිප්ලෝමා 2012/13 කණ්‌ඩායමේ සහතික ප්‍රදානෝත්සවය පසුගිය 10 වෙනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පහතින් පළවනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන සහ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි විසින් එදින පැවැත්වූ දේශනයේ සංක්‍ෂිප්තයයි. විද්‍යාත්මක, තාක්‌ෂණික, වාණිජ සහ මාධ්‍ය ලෝකයක අප සිටින හෙයින් තොරතුරු සහ පුවත් නොමැතිව අද අපට ජීවත්විය නොහැකිය. මේ හේතුව නිසාම පුවත්පත්කලාව බිහිකළ ධනවාදී ක්‍රමය විසින්ම ධනවාදී සමාජය තුළ පිළිපැදිය නොහැකිබව දැන දැනම පුවත්පත් කලාව සඳහා පනවා ඇති ආචාරධර්ම පද්ධති නැතිනම් ශික්‌ෂාපද පිළිපැදීම පසෙක තබා තම වෘත්තියේ ගරුත්වය රැකගැනීමට නම් අපෙන් ගිලිහී ගිය ෙඓතිහාසිකව වර්ධනය වූ ස්‌වාභාවික මානව සදාචාර විඥානය ඉස්‌මතු කරගැනීම වැදගත්ය. මානව සදාචාර සංවේදනයන් (human moral sentimentss) රැකිය යුත්තේ පුවත් විසිරවීමේ අදියරයේදී පමණක්‌ නොවේ. තොරතුරු ලබාගන්නා ක්‍රමවේදයේද සදාචාරයක්‌ තිබිය යුතුය. පුවත්පත්කලාවේදීන් රහස්‌ පරීක්‌ෂකවරුන් හෝ පැපරාසීන් නොවිය යුතුය. වෙනත් සෑම වෘත්තියකටම මෙන් (උදා: වෛද්‍ය, නීතිය, හෙද සේවා, ව්‍යාපාර) පුවත්පත්කලාවටද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආචාර ධර්ම පද්ධතියක්‌ ඇත. ඉන් ප්‍රධානම 6 නම් : 1. සත්‍යය පමණක්‌ ඉදිරිපත් කිරීම (ruthfulness) 2. නිවැරැදිභාවය (accuracy) 3. විෂයබද්ධත්වය (objectivity) 4. අපක්‌ෂපාතීත්වය (Impartiality) 5. සාධාරණභාවය (fairness) 6. වගවීම (accountability) එහෙත් මේ හයත් මේවාට අනුබද්ධ උප-ප්‍රකාර සියල්ලමත් අද තරගකාරී ධනවාදී දේශපාලන ලෝකය තුළ ඉඳහිට නොව නිතිපතා, දිනපතා උල්ලංඝනය වේ. සියල්ල මුදල් සහ දේශපාලන බලය වටා භ්‍රමණයවීම නිසා යෝජිත මාධ්‍ය ශික්‌ෂාපද රැකීම දුෂ්කරය. හේතුව ආචාරධර්ම පද්ධති කෘතිමයි, දෘෂ්ටිවාදීයි. දේශපාලනිකයි. කැඩීමට හෝ බිඳීමට ලෙහෙසියි. පහසුයි. උල්ලංඝනය සඳහා බිය තාවකාලිකයි. ඒ නිසාම හෘදසාක්‌ෂියට ඈතයි. අවංක පුවත්පත්කලාවේදය කළ යුත්තේ ආචාරධර්මයෙන් සදාචාරයට මාරුවීමයි. සදාචාර විඥානය වර්ධනය කරගත් විට පුවත්පත්කලාවේදියකුට ආචාරධර්ම රීතීන් අවශ්‍ය නැත. එවිට ආචාරධර්මය නොමැතිව වෘත්තියෙහි සදාචාරය රැකෙනු ඇත. එය නිර්මල මෙන්ම මානුෂිකද වනු ඇත. ඇරත් ආචාරධර්මය සමස්‌තයක්‌ ලෙස ගත්තත් ධනවාදී අර්ථක්‍රමයෙන් ප්‍රභවය වූ පුවත්පත්කලාවේදය සඳහා SPJ වැනි ආයතන විසින් යෝජිත ආචාරධර්ම පද්ධති සුවිශේෂ ලෙස ගත්තත් අද ලෝකයේ ආචාරධර්ම පද්ධති වනාහී අධිපති ධනපති පාලක පංතියේ විනය යාන්ත්‍රණයයි. ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ බළල් අතයි. මෙය පුවත්පත්කලාවේදය ඇතුළු වෛද්‍ය, නීති, වාණිජ-ව්‍යාපාර ආදී සියලුම බූෂුවා වෘත්තීන්ට පොදු සත්‍යයයි. මේ සියල්ලටම ආචාරධර්ම පද්ධති ඇත. එසේම ධනවාදී අර්ථක්‍රමය තුළ මේ කිසිම ක්‍ෂෙත්‍රයකට ආචාරධර්ම රැකිය නොහැක. රැකි අවස්‌ථාවන්ට වඩා උල්ලංඝනය කළ අවස්‌ථා අප්‍රමාණය. තිත්ත වුවත් සත්‍යය මෙයයි. පුවත්පත්කලාවේදය සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි. සිය ගණනින් උදාහරණ දිය හැකි මුත් මෑතදී ලෝකය කැළඹූ තෝරාගත් අපකීර්ති සංස්‌ද්ධීන් (scandals) කිහිපයක්‌ නම්( වෝටර්ගේට්‌ පුවත්පත් කලාවේදය සඳහා ඉහළම සම්මානය වූ Pulitzer ජයග්‍රාහිකාව වූ Janet Cooke ගේ ප්‍රෝඩා පුවත් නිර්මාණය The New York Times ys Jason Blair සිද්ධිය ඉතා මෑතදී News Cooperation & News International අධිපති Rupert Murdock ගේ දුරකථන සංවාද සවන්දී පුවත් මැවීමේ සිද්ධිය. ආචාරධර්ම පද්ධති යනු අප මත අරෝපණය කරනු ලැබූ ඇගැයුම්ය. සරලව කිවහොත් ඒවා අප මත පටවපුවා, අප තුළ රෝපණය කරපුවා නැතිනම් හිටවපුවා. ඒවා ප්‍රාමාණිකයි. එනම් ඒවා නිර්දේශයන්. මානකයන්. එහෙත් මිනිසාගේ සදාචාර සංව්දීත්වය ස්‌වාභාවිකයි. ස්‌වාභාවික ලෙස මනෝවිද්‍යාත්මකයි. (naturally psychological). ස්‌වාභාවික ලෙස මානවයීයයි. (naturally human). එමනිසා සදාචාරයට සංවේදීවීම නැතිනම් සදාචාර විඥානය දෘෂ්ටිවාදී රූපික අචාරධර්ම රීති හෝ නීති සංග්‍රහයන්ට වඩා නිර්ව්‍යාජයි. (moral consciousness is more authentic than ideologically molded formal ethical codes). ආචාරධර්මීය ලෙස රාමුගතවී යාන්ත්‍රික වනවාට වඩා මනුෂ්‍යයන් ලෙස තමන් ඉතිහාසය පුරා වඩවා ගත් නෛසර්ගික සදාචාර සංවේදනයන් සක්‍රීය කර ගැනීම ඵලදායී වනු ඇත. එනම් තමන් වෘත්තියක්‌ ලෙස පුවත්පත්කලාව තෝරාගන්නේ නම් ඔහු හෝ ඇය තුළ ඇති ජාතීය-මානුෂික ලක්‌ෂණ (species-human characteristics) පෙරමුණට ගැනීම තුළින් තමන්ගේ වෘත්තියටත් රටටත් අගනා සේවයක්‌ කළ හැකිය. බාහිරින් නොව තම අභ්‍යන්තරයෙන්ම සදාචාරය මතුවෙන හෙයින් එය නිර්මලය. එහි අගය නො මිලය. මම ප්‍රාණඝාත නොකරමි යනුවෙන් පොරොන්දුවීමට වඩා ප්‍රාණඝාත නොකිරීමේ හේතුව තමා තුළින්ම මතුවනුයේ නම් මොනතරම් අගනේද? උදාහරණයක්‌ වශයෙන් මා විසින් සතුන් නොමැරිය යුත්තේ මේ ලෝකයේ ජීවත්වීමට මට මෙන්ම ඔවුන්ටද අයිතියක්‌ ඇත යන සදාචාර සංවේදීකම උඩ නම් එය බාහිරින් එන රීතියකට හෝ නියෝගයකට වඩා මොනතරම් උතුම්ද? මොනතරම් මානුෂීයද? මොනතරම් ස්‌වයං-සාක්‌ෂාත්කරණයක්‌ද? මිනිස්‌ ඉතිහාසය තුළ මිනිසා වගකීමක්‌ සහිත සත්වයෙකු බව වටහාගත් දින සිට මිනිසා හොඳ-නරක, යුතු-අයුතුකම්, සාධාරණ-අසාධාරණකම් පිළිබඳව සංවේදීවූවා පමණක්‌ නොව එම සංවේදී භාවයන් සඳහා සංයුක්‌ත ආචාරධර්ම පද්ධතීන්ද ආරෝපණය කොට ව්‍යවහාරයට යොදවන ලදී. මිනිසුන් තමතමන්ගේ ක්‍රියාවන් පිළිබඳව සදාචාර සංවේදීබවක්‌ පළමුවෙන්ම ඇති කරගත් අතර පසුව ආගමික සහ දේශපාලන වශයෙන් බලධාරී වූ පංතීන් විසින් ආචාරධර්ම රීති පද්ධතීන් ලෙස දේශනා කොට ලිඛිත මාධ්‍යය හරහා සමාජ ගත කරන ලදී. මුල් මිනිසාගේ ස්‌වාභාවික සදාචාර විඥානය පසුව ආචාරධර්ම පද්ධතියකට වර්ධනය වූ අතර එසේවීමට බල පෑ සංස්‌ථා දෙක වූයේ ආගම සහ දේශපාලනයයි. ආර්ථික සහ දේශපාලන බලය දේශපාලකයන් සතුව තිබූ නිසා සහ ඔවුන් පාලිත ජනතාවට වඩා ඉදිරියෙන් නිතරම සිටිs නිසා ආචාරධර්මය දේශපාලකයින්ගේ නිර්මාණ වූහ. ආචාරධර්මය යනු පාලක පංතියේ ඇගැයුම් සහ ඕනෑ එපාකම්ය යන නිරීක්‌ෂණයට සහ නිර්වචනයට සමහරු පැමිණියේ මේ හේතුව නිසාය. ප්‍රාග්-ආගමික සහ ප්‍රාග්-දේශපාලනික සදාචාරමය ස්‌වාභාවික ජීව-මනෝභාවයන් (moral- bio-psycho-emotions) දේශපාලනයේ සහ ආගමික සංස්‌ථාවන්ගේ පහළ වීමත් සමඟ ප්‍රාමාණික පද්ධති (normative systems) නැතහොත් ශික්‌ෂාපද (precepts) වශයෙන් ජනතාව අතර තහවුරු කරන ලදී. මෙම ඓතිහාසික ක්‍රියාවලියෙන් පැහැදිලිවනුයේ මිනිසාගේ සදාචාර සංකල්පනා ආචාරධර්මයට වඩා කාලීන වශයෙන් පූර්ව බවත් දෘෂ්ටිවාදවලින් ස්‌වාධීන වූ නිසාම සදාචාරය ආචාරධර්මයට වඩා නිර්ව්‍යාජ වූ බවත්ය. ආචාරධර්මයට රාමු යෝජනාවීම නිසාම ආචාරධර්මය රූපික විය. ඒ නිසාම එය නිර්ව්‍යාජභාවයෙන් ඈත් විණි. ආගමික හෝ දේශපාලනික ආධිපත්‍යයකට යට නොවූ තිබූ ස්‌වාභාවික මානව සදාචාර සංවේදනාවන් යටපත් වී සදාචාරය රූපික ආචාරධර්මානුකූලව නිර්වචනය වීම ආරම්භ විණි. පෙර අපර දෙදිග ආචාරධර්ම පද්ධතිවල සැබෑ ප්‍රභවය මෙයයි. ආගමින් ආරම්භ වූ ආචාරධර්ම රීති සහ චර්යා රෙගුලාසි පසුව දේශපාලනයෙන් ශක්‌තිමත්ව ධනවාදී ලෝකයේ ආයතනයන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහාම නූතන ලෝකය තුළ ආචාරධර්ම සමඟ නැවත නිර්වචනය වූ වෛද්‍ය, නීතිය, සාත්තුසේවය, වාණිජ්‍යය, මාධ්‍යය ආදී වෘත්තීමය ක්‍ෂේත්‍ර සහ පුවත්පත් කලාවේදය සඳහා යෝජනා වී අද භාවිතයට යෙදී ඇත්තේ මෙම ආචාරධර්මයන්ය. ආචාරධර්මය මානව සදාචාරයකට පෙරළීම ආචාරධර්මය පිළිබඳ කරුණක්‌ නොව දේශපාලන කරුණකි. දේශපාලන මැදිහත්වීම පිළිබඳ කරුණකි. එය සිදුනොවනතාක්‌ දුරට පුහු, අජීවී මාධ්‍ය ආචාරධර්ම බිහිවනු ඇත. මාධ්‍ය ආචාරධර්ම කැඩෙනු ඇත. සංශෝධන යෝජනා වනු ඇත. නැවත නැවත අලුත් වනු ඇත. සැබෑ මානව සදාචාරයක්‌ බිහිනොවනු ඇත. සැබෑ මානව සදාචාරයක්‌ බිහිකරගෙන පුවත්පත් කලාවේදය කිරීම ඔබගේ ප්‍රධාන අරමුණ විය යුත්තේත් එය න්‍යාය පත්‍රයේ අංක එක විය යුත්තේත් ඒ නිසාය. අවශ්‍ය සමාජ වෙනසක්‌ ඇතිකිරීම සඳහා ඇති සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බලයන්ගෙන් එකක්‌ වනුයේ පුවත්පත්කලාව තුළ අධිගෘහිත බලයයි. අසාධාරණය සාධාරණයකට හැරවීම සඳහා ජනතාව පෙළගැස්‌වීමටත්, අස්‌ථාවර තත්ත්වයක්‌ ස්‌ථාවරත්වයකට ගෙනඒමටත්, නරක පිටුදැකීමටත්, ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරදීමටත් පුදුම එලවනසුළු බලයක්‌ පුවත්පත්කලාවට ඇත. පුවත්පත්කලාවේදීන්ගේ ලෝකය දිනෙන් දින කටු යහනක්‌ වූ බව සහ වෙමින් පවතින බව පසුගිය දශක හතර තුළ ලෝකය අපට පෙන්වා දී ඇත. ඔබලා පළමුව කළ යුත්තේ පුවත්පත්කලාවේදීන්ට තම වෘත්තිය කිරීමට ඉඩ නොදෙන බලවේගයන්ගේ රූපය සහ ස්‌වභාවය තේරුම් ගැනීමය. පුවත්පත් කලාවේදය නමැති විෂයයේ තේමා අන්තර්ගතය තේරුම් ගැනීමට වඩා මෙම කටුක යථාර්ථය තේරුම් ගැනීම දුෂ්කරය. ඒ බව මා මෙන්ම ඔබද දනී. එහෙත් පුවත් වාර්තා කිරීමේ ඔබේ සමාජ වගකීමට සහ නිල කාර්යයටද ඔබට පිටුපෑ නොහැකිය. එමනිසා තම වෘත්තිය අවංකව කළද ප්‍රතිඵලය මල් මාලාවක්‌ නොවී කටු ඔටුන්නක්‌ වීමේ භව්‍යතාවය එනම් හැකියාව අද අහඹුවක්‌ නොව යථාර්ථය බවද ඔබ දනී. මට ඔබලාට කිව හැක්‌කේ පුවත්පත් කලා වෘත්තිය පිච්චෙන ගණයේ විෂයයක්‌ වන නිසා පරිස්‌සමින් යන්න පමණි. මෙම අවවාදයට හේතුවූ සාධක දහස්‌ ගණනකින් තෝරාගත් මෑත උදාහරණ කිහිපයකට ඔබේ අවධානය යොමු කරමු. විශේෂයෙන් 1960 ගණන් වල සිට අද දක්‌වා වන විට මුළු ලෝකය පුරා දහස්‌ ගණනක්‌ මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත. දහස්‌ ගණනක්‌ අතුරුදන් වී ඇත. දහස්‌ ගණනින් වෙනත් රටවල සරණාගතයන් වී ඇත. විශේෂයෙන් 2000 සිට 2014 දක්‌වා ගෝලීය දේශපාලනය විශාල අර්බුදයක ඇති නිසා මාධ්‍යය දඩයමද ශීඝ්‍රයෙන් සක්‍රීය වී ඇත. ලෝක ත්‍රස්‌තවාදී දේශපාලනය ආවරණය කරනු ලබන රටවල්හි සෑම ජාතියකම මාධ්‍යකරුවන් මාධ්‍ය දඩයක්‌කාරයන්ගේ ගොදුරු බවට පත්වී ඇත. පෑනකින් ලෝක සිතියම වෙනස්‌ කළ අය එමට ඇත. එසේම පෑනකින් ලෝකය විනාශ කළ අයද විරල නොවේ. එසේම පශ්චාත් 2 වෙනි ලෝක යුද්ධ සමයේ සිට අද වන විට පෑන නිසාම, කැමරාව නිසාම සහ අවංකව වාර්තාකරණය හඹායැම නිසාම, ජීවිතය අහිමි කරගත් ශ්‍රී ලාංකීක ඇතුළු ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන් දහස්‌ ගණනක්‌ ලැයිස්‌තුගතව ඇත. එහෙත් තොරතුරු වාර්තාකරණය සඳහා මෙම ඛේදජනක ඉරණමට මුහුණදීමට සිදුවීම මාධ්‍යකරුවන්ට බාධාවක්‌ වී නැත. සමහර මාධ්‍යකරුවෝ එදාටත් වඩා දිරියකින් යුතුව, වගකීමකින් යුතුව අද කැමරාවත් පැනත් භාවිත කරමින් සිටිති. බොහොමයක්‌ ප්‍රවීන අවංක මාධ්‍යවේදීහු භය නො හඳුනති. එහෙත් ලැඡ්ජාව හඳුනති. මාධ්‍යකරුවෙකුට තිබිය යුත්තේ භය නොව ලැඡ්ජාවය. එනම් ව්‍යාජ සහ අසත්‍ය තොරතුරු මැවීමට හෝ සත්‍ය තොරතුරු විකෘති කිරීමට හෝ පක්‍ෂග්‍රාහීවීමට පුවත්පත්කලාවේදියා ලැඡ්ජාවිය යුතුය. දේවධර්ම ජාතකයේ එන ලැඡ්ජා-භය යන කරුණු දෙක සාමාන්‍ය මිනිසාට සහ මාධ්‍යකරුවා තුළ සිටින මිනිසාට අදාළවන මුත් පුවත්පත්කලාවේදියා නමැති වෘත්තිකයාට මෙය අදාළ වනුයේ සුවිශේෂ සංශෝධන සහිතවය. එනම් පුවත්පත්කලාවේදියා භය පලවාහැරිය යුතුය. එහෙත් ලැඡ්ජාවට භය විය යුතුය. සෑම තත්පරයකදීම ලෝකය තොරතුරු නිෂ්පාදනය කරයි. අනෙක්‌ අතට ජනතාවද, තොරතුරු පිපාසයෙන් පෙළෙති. මාධ්‍ය නමැති විෂයයට මෙම යථාර්ථයට පිටු පෑ නොහැක. අන්ධ විය නොහැකි. හේතුව මාධ්‍යය යනුම තොරතුරු මුදාහැරීමේ කලාව සහ විෂයය එන නිසාය. තොරතුරු ඒ ක්‍ෂණයෙන් වාර්තාකිරීම වෙනත් වාර්තාවකින් සිදු නොවන අතර එය සිදුවූයේම මාධ්‍යයෙන් පමණි. එය මාධ්‍යයේ මොහොත සහ වගකීම වී ඇත. ශ්‍රී ලංකාවෙන් සහ ඉන් පිටතත් මාධ්‍යයේ සදාචාරය සහ මාධ්‍ය වාරණයන් සහ මාධ්‍ය න්‍යායන් පිළිබඳව අදින් පසු ඔබ තවදුරටත් හැදෑරිය යුතුය. උදාහරණයක්‌ ලෙස මාෂල් මැක්‌ලූහන්ගේ පණිවිඩය යනු මාධ්‍යයි යන යෙදුම නැතිනම් නිරීක්‍ෂණය - එනම් සත්‍යවශයෙන්ම නම් මාධ්‍යයක්‌ නැත. ඇත්තේ පණිවිඩයක්‌ පමණි වැනි ප්‍රකාශ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. හෘදසාක්‌ෂියට දේශපාලනයක්‌ තිබිය යුතුය. එහෙත් එය පරපීඩක දේශපාලනයක්‌ නොවිය යුතුය. හෘදසාක්‌ෂියට දෘෂ්ටිවාදයක්‌ තිබිය යුතුය. එහෙත් එය මනුෂ්‍යත්වයේ ප්‍රතිවිරුද්ධය නොවිය යුතුය. හේතුව විකෘති නොව ප්‍රකෘති හෘදසාක්‌ෂිය යනු මනුෂ්‍යත්වයට ඇති තවත් වචනයක්‌a වීමයි. පර්යාය පදයක්‌ වීමයි. මානව පුවත්පත් කලා භාවිතයකට මගේ සුබපැතුම්. දිවයින මටමඬල අතිරේකය 24 07 2014
Posted on: Thu, 24 Jul 2014 14:20:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015