මගේ සතිඅන්තය (සිකුරාදා - TopicsExpress



          

මගේ සතිඅන්තය (සිකුරාදා හා සඳුදාද සමඟ) ගෙවී ගියේ පොළොන්නරුවේය. නටබුන් තවදුරටත් මැජික් නොවන නිසා අනෙකුන්ට ඒවා රිසිසේ බලා ගන්ට ඉඩ දී මම පැත්තකට වී මරියා සිලොනිකා වස්තුව කියවා නිම කළෙමි. එහෙම නොකරත් කොහොමද? කතාවේ එක් චරිතයක් අපේ කාලයේ විදුසර පාඨකයෙක්ය කියන විට! මගේ ප්‍රතිචාරය ඉතා කෙටියෙන්: කියැවියකි (very readable) පොතකි. කුරුලු හදවතේ තරමටම නැති වුණත් අළුත් දෙයක් තියේ. මෑතකදී මා කියැවූ සිංහල නවකථා වලින් ලේඛකයා මේ තරමට පර්යේෂණාත්මකව ලියූ පොතක් නැතැයි කිව හැකිය. බොහෝ දේ ගැන මතුපිටින් අතගෑමෙන් එපිටට ගොස් පොඩි ගැඹුරක් දෙන්ට ලේඛකයා උත්සාහ කරයි. උදාහරණයක් හැටියට වෙනත් ලේඛකයකු නම් නැටුම් ගුරුවරුන් අතර පැවැරුමක් පිණිස වන කතා බහට ඔය තරමට ගැඹුරක් නොදෙන්ට ඉඩ තිබුණේය. මේ නිසා පාඨකයාගේ විශ්වාසනීයත්වය ඉහළ යයි. මේ ගැන දර්ශීය උදාහරණය Arthur Hailey ගේ Airport, Hotel වැනි නවකථාය. පී. බී. ජයසේකර ඒ මට්ටමටම නොයතත් ඔහු හොඳ උත්සාහයක් දරයි. පසුබිම් නිර්මාණයට අමතර ලකුණු කිහිපයක් දිය හැක. මෙය ලේඛකයාගේ පළමු පොත සේ සලකන කල්හි පොතට ලොකු වටිනාකමක් දීම ගැනද මම විරුද්ධ නොවෙමි. මුල් පොතින්ම ප්‍රතිභාව පළ කරන ලේඛකයෝ විරලයහ. හැබැයි, එය ලෝකයේ/ලංකාවේ අග්‍රගණ්‍ය නවකතාවය ලේඛකයා/ප්‍රකාශකයා කියන කතාව නම් වැල් බයිලාවකි. මේ පිම්බීම ඩබ්ලිව්. ඒ. ද සිල්වා දහසය හැවිරිදි වියේදී ලියන ඔහුගේ මුල්පොත සිරියාලතා මහා ලොකු පොතක්ය කීමට සමානය. මාරියා සිලොනිකා වස්තුව හා සිරියලතා අතර සමානකම් ගණනාවක් ඇත. දෙකේම ඇත්තේ පහැදිළිව සුදු කළු සේ වෙන්කොට ගත හැකි පැතැලි චරිතය. කරුණාපාල හොඳම හොඳය. ඔහුගේ බිරිඳ හා ඇමැතියා නරකම නරකය. එසේම ඩබ්ලිව්. ඒ. ද සිල්වා සේම ජයසේකරද අනවශ්‍ය ලෙස පූර්වාපර සන්ධි ගලපන්ට යයි. මේ නිසා කරුණාපාලට බොරු වීරත්වයක් ආරූඪ වන අතර දත්ත පොඩියක් එහා මෙහා වේ. (මතක හැටියට කතාවේ මුල ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙකි, කතාවේ මැදදී ශාස්ත්‍ර පීඨයට ට්‍රාන්ස්ෆර් එකක් ලැබුණා සේ පෙණේ.) කරුණාපාල නාට්‍ය ලියා රංග ගත කරයි. ඔහුට දැඩි කැපැවීමකින් යුතු ගෝලයින් පිරිසක්ද වෙති. මේ සියල්ල කරන්නේ වැඩි සමාජ ආශ්‍රයක් නැතිවය. බූමිතෙලෙන් දුවන තැපැල් නයින්ටියකින් ගමන් කරමිනි. මේ විසි එක් වැනි සියවසේ ලංකාවමද? ලංකාවේ සිංහල නවකථා වැඩිපුර කියවන්නේය සිතිය හැකි පාසල් ගුරුවරුන්, මාධ්‍යවේදීන්, ආධුනික ලේඛකයින්, ආධුනික නාට්‍යකරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, වාමාංශික දේශපාලන උණැත්තන් වැනි පිරිසකට ගැළපෙන සේ එවැනි චරිත කිහිපයක් වීරත්වයට නඟා ඇති බැව් සිතිය හැකිය. එසේම ඒ නිසාම මේ පොතට හොඳ අලෙවියක් ඇති වෙතැයිද සිතිය හැකිය. එහෙත් එය අනවශ්‍ය පරිදි පුම්බන්ට යාම ලේඛකයාටද කරන අසාධාරණයකි. ඔහුට මීට වඩා හොඳ පොතක් ලබන අවුරුද්දේදී කරන්ට අවකාශ ඉතිරි කළ යුතුය.
Posted on: Tue, 02 Sep 2014 04:13:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015