රතුපස්වල සිද්ධිය - TopicsExpress



          

රතුපස්වල සිද්ධිය පිළිබඳව හේලීස් සමූහ ආයතනය මෙසේ කියයි හේලීස් සමූහය යටතේ ක්‍රියාත්මක Dipped Products PLC සමාගමේ වැලිවේරිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටා නිර්මාණය වූ මහජන නොසන්සුන්තාව පිළිබඳ අදහස් දක්වන Dipped Products PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ රණසෝම මහතා සිය සමාගම වෙනුවෙන් වන ස්ථාවරය මෙසේ ප්‍රකාශ කර සිටී. වසර 135කටත් අධික කාලයක් පුරා මෙරට ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයන්නා වූ හේලීස් සමූහයට අයත් වසර 18ක් පුරා පවත්වාගෙන යන Dipped Products PLC සමාගමේ වැලිවේරිය නැඳුන්ගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් ප්‍රදේශයේ භූමිය මෙන්ම ජල සම්පත දූෂණයට ලක්වෙනවාය යනුවෙන් ඇතිකර ගත් මහජන අනවබෝධය හේතුවෙන් කලහකාරී මෙන්ම මහජන නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබේ. අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මේ පිළිබඳ මාගේ බලවත් කනස්සල්ල පළකර සිටිමි. ප්‍රදේශයේ ජනතාව කලහකාරී ස්වභාවයක් ගෙන තිබෙන්නේ අප කර්මාන්ත ශාලාවෙන් පිටකරන ජලය අදාළ ප්‍රදේශයේ භූමි දූෂණයටත්, ජල දූෂණයටත් හේතු වේ යන පදනම් විරහිත මෙන්ම හුදු සැකය පදනම් කරගත් පටු මානසිකත්වයක සිටය. නමුත් අප කර්මාන්තශාලාව මෙම ප්‍රදේශයේ පවත්වාගෙන යන්නේ පරිසර හිතකාමී ප්‍රමිතීන්ට අනුකූලව බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. Dipped Products PLC සමාගම ගෝලීය ගෘහස්ථ හා කාර්මික රබර් අත්වැසුම් අවශ්‍යතාවෙන් 5ක ප්‍රමාණයක් සපයනු ලබන අතර රටවල් 70කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අලෙවි කරයි. වැලිවේරිය නැඳුන්ගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාව අපගේ සමස්ත සැපයුමෙන් 45ක් සපුරාලනු ලබන අතර මෙරටට විශාල විනිමය ප්‍රමාණයක් උපයා දෙනු ලබයි. අපගේ කර්මාන්ත ශාලාවෙන් පිරිපහදු කරන ලදුව පිටකෙරෙන ජලයෙහි PH අගය ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මෙන්ම ආයෝජන මණ්ඩලය විසින් මැන බලන අතර, අපගේ ආයතනය පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වෙයි. අප ආයතනයෙන් පිරිපහදු කරන ලදුව පිට කරන ජලය කිසිලෙසකින්වත් ආම්ලික නොවන අතර, එහි PH අගය 6.5ත් 8.2ත් අතර බව අදාළ ආයතන තුළින් නිකුත් කරන ලද වාර්තාවලින් තහවුරු වේ. එතුළින් පෙන්නුම් කෙරෙන්නේ අප කර්මාන්ත ශාලාවෙන් පිරිපහදු කරන ලදුව පිට කරන ජලය අදාළ ප්‍රමිතිගත PH අගයෙන් යුතු වන අතර එය පරිසරයට අහිතකර නොවන බවය. අපි කෙතරම් පරිසර හිතකාමීද යන්න ගැන අප ලබාගෙන තිබෙන ISO 14001:2005 තත්ත්ව සහතිකවලින් පෙන්නුම් කරන අතර අප සිදුකරන පරිසර හිතකාමීත්වය පිළිබඳ විගණනයන්ට අමතරව අපගේ නිෂ්පාදන ගැණුම්කරුවන්ට පවා අපගේ පරිසර හිතකාමීත්වය පිළිබඳ විගණන කටයුතු සිදුකරලීමට අවස්ථාව සලසා දීමටද අපි කටයුතු කරමු. පදනම් විරහිත චෝදනාවකට ලක්ව සිටින මාගේ ආයතනයෙහි නිර්දෝෂීභාවය වෙනුවෙන් මා හට තවත් කරුණු මෙසේ පෙළ ගැස්විය හැකිය. වැලිවේරිය ප්‍රදේශයට අදාළ භූගෝලීය කලාපයෙහිම මෙම ආම්ලිකතාව පවතී. එසේ නම් අප කර්මාන්ත ශාලාව නිසා පමණක් මෙවන් තත්ත්වයක් නිර්මාණය වනවා යැයි කීම ඉතාමත් සාවද්‍ය මෙන්ම පුහු තර්කයකි. එමෙන්ම අප කර්මාන්ත ශාලාවෙන් පිරිපහදු කරන ලදුව පිට කරන ජලය ප්‍රමිතිගත PH පරාසය තුළ තිබියදී එම ජලය මගින්ම ප්‍රදේශයේ භූමිය සහ ජල සම්පත දූෂණ වෙනවා යැයි කියන්නේ කෙසේද? සැබැවින්ම සිදුවිය යුත්තේ එවන් තත්ත්වයක් උදානොවීමයි. මෙම ආම්ලිකතාවය වැඩිවීමට ස්වභාවිකව යැයි සිතිය හැකි සාධක මෙසේය.එමෙන්ම මෙම ප්‍රදේශයට යාබද රතුපස්වල භූමියෙහි කාබන්ඩයොක්සයිඩ් සහ අයන් ඔක්සයිඩ් ප්‍රමාණය බෙහෙවින් වැඩිය. එබැවින් මෙම ප්‍රදේශයෙහි භූමිය ආම්ලිකභාවයෙන් යුක්තවීමට පැහැදිලි හේතුසාධක තිබේ. මෙම නොසන්සුන්තාව නිර්මාණය වීමට පෙර සිටම අපි ප්‍රදේශයේ ජනතාව, සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සංවිධාන ප්‍රධානීන් සමග සාකච්ඡාවල නිරත වීමු. ඔවුන් හා අප අතර වූයේ අර්ථාන්විත කතිකාවතක් පමණකි. මෙසේ ප්‍රචණ්ඩත්වය මුල්කර ගත් විසඳුමක් වෙත ප්‍රදේශයේ ජනතාව පෙළඹීම පිළිබඳ හේතුකාරක වූ සාධක පිළිබඳව අපට සාධාරණ සැක මතුව ඇත. මෙම සිදුවීම කඩාකප්පල්කාරී ඇතැම් පාර්ශ්ව විසින් මෙහෙයවන අතර සැඟවුණු දේශපාලන අරමුණක් මත අපගේ ආයතනය අඩාල කිරීමට දරන උත්සාහයක් බවට අපට සාධාරණ සැකයක් පවතියි. හේලීස් සමූහයට අයත් Dipped Products PLC සමාගම වසර ගණනාවක් පුරා අත්කරගත් කීර්තිමත් නාමයට මෙවැනි සිද්ධියක් හානිදායක බව අපගේ විශ්වාසයයි. මෙම මහජන උද්ඝෝෂණ ව්‍යාපාර වඩ වඩාත් උත්සන්න වන ස්වභාවයක් ගත් නිසා වගකිව යුතු නිලධාරීන් සමග පවා අප ආයතනය සාකච්ඡා කළෙමු. අවසන් වශයෙන් ගරු රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අප ආයතනය සාකච්ඡාවට එළැඹියේ අදාළ ප්‍රදේශයේ කටයුතු පිළිබඳ වගකීම් දරන පිරිස්ද සමගය. එහිදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය විය. එමෙන්ම කර්මාන්ත තාක්ෂණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ජාතික ජලාපවහන මණ්ඩලය සහ භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ ආයතනය යන ආයතන එක්ව සිදුකිරීමට යන පරීක්ෂාවට පවා අප කර්මාන්ත ශාලාව විවෘත වන අතර ඒ සඳහා අපගේ උපරිම සහය ලබාදීමටද අපි කටයුතු කරමු. මෙම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන්ව අපගේ නිර්දෝෂීභාවය තහවුරු කරගනිමින් අපගේ කීර්තිමත් ව්‍යාපාර නාමය තවදුරටත් තීව්‍ර කරගත හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 2004, 2005, 2006 සහ 2010 යන වර්ෂවලදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් පිරිනමනු ලබන "Coroporate Citizen Award" යන කිරුළ දිනා ගැනීමට හෙලීස් සමූහය සමත් වූ අතර එතුළින් අප සමාගම මෙරට ජනතාව වෙනුවෙන් වගකියන ව්‍යාපාර පුරවැසියකු බව මේ වන විටත් ඔප්පු කර හමාරය. මෙම වාතාවරණය තුළ පවා අප කටයුතු කරන්නට උත්සාහ කළේ ජනතා හිතවාදී මුහුණුවරකින් බව අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. හුදු අනවබෝධය සහ පටු දේශපාලන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශේෂ දේශපාලන කොටස් උත්සාහ දැරීම තුළ නිර්මාණය වූ අහිතකර වාතාවරණය පිළිබඳ ව්‍යාපාර ප්‍රධානියකු ලෙස මම නැවත වරක් කනගාටු වෙමි. එමෙන්ම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සහ ඔවුන්ගේ සහනය වෙනුවෙන් අප ආයතනයට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට අප උපරිමයෙන් කැපවන බව මෙයින් ප්‍රකාශ කරමු. ආචාර්ය මහේෂ රණසෝමකළමනාකාර අධ්‍යක්ෂDipped Products PLC
Posted on: Sun, 11 Aug 2013 14:58:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015