සාහිත්‍යයට පුළුවන් - TopicsExpress



          

සාහිත්‍යයට පුළුවන් සමාජය වෙනස් කරන්න ඩොරිස් ලෙසිං ඒසම්මානනීය ලේඛිකාව ඩොරිස් ලෙසිං ගේ තුන්මහල් තට්ටු නිවස පිහිටියේ ලන්ඩනයේ කිල්බන් කඳුමුදුනේ මනරම් ස්ථානයකය. කලබලකාරී නාගරික පරිසරයෙන් මිදුණු සුන්දර ගැමි පෙදෙසක පිහිටි ඒ නිවස කරා මා ගියේ සොම්නස් හැඟීමෙනි. එදා ලන්ඩනයට දීප්තිමත්, සිසිල් නැවුම් දවසකි.තුන්මහල් නිවෙසේ උඩම තට්ටුවේ වූ විශාල කාමරය ඇගේ කෑම කාමරය හා කන්තෝරු කාමරය ද විය. මා එහි යනවිට විශාල ජනේලවලින් හිරු එළිය ගලා කාමරය ආලෝකවත්ව තිබිණ. සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං සිත්ගන්නා සුලු ප‍්‍රසන්න පෙනුමින් යුතු කාන්තාවකි. සුදුවෙමින් තිබෙන ඇගේ දිගු කෙස් කළඹ හිස මුදුනට කොට ගැටගසා තිබිණ. ඇත්තටම මා ඡායාරූපවලින් දුටු, මා අගය කළ ඇගේ රූපය එසේ ම විය. මම ඇත්තට ම ඩොරිස් ලෙසිං දුටුවෙමි. ඇය මා සමඟ දකුණු රොඩේෂියාවේ තම ගොවිපළේ ගතකළ ළමා කාලය ගැන කතාකළාය. ”ඒ කාලෙ ගොවිපළේ හැමෝටම තුවක්කු තිබුණා. ඔවුන් එළියට ගියේ තුවක්කු අරගෙන ඒවායින් නයින්ට වෙඩි තිබ්බා. මරනවා කියන එක බොහොම සුළු සොබාවික දෙයක් වෙලා තිබුණා. ඇයි මැරුවෙ, මොකද මැරුවෙ කියලා කවුරුත් ඇහුවෙ නැහැ.” ඇය ඇමෙරිකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව මගෙන් ප‍්‍රශ්න කළාය. ඊළඟට ඇගේ ප‍්‍රශ්නය වූයේ ඇමෙරිකාවේ වසර ගණනාවක සිට ගෙන යන යුද විරෝධී ව්‍යාපාරවලින් ඇත්තටම පලක් වූයේ ද යන්නයි. එංගලන්තයට වඩා ඇමෙරිකාවේ ඇති ප‍්‍රජාතාන්ති‍්‍රක මුහුණුවර ගැන ඇය දැක්වූයේ සානුකම්පිත ආකල්පයකි. සමාජය පිළිබඳව සානුකම්පිත දැක්මක් තම රචනාවන්ගෙන් හෙළිවන බවද ඇය කීවාය. එංගලන්තයේ ඔබ නිතර නිතර පොත් ප‍්‍රකාශ කරන්නේ නම් කවුරුත් ඒ පිළිබඳව එතරම් සලකන්නේ නැහැ. ඒත් ඇමෙරිකාවේ විවේචකයන් ලේඛකයකු ගැන වඩා සුපරීක්ෂාකාරී වන්නේ නිතර නිතර පොත් ප‍්‍රකාශයට පත්කරන විටයි. එවිට බාධක බිඳගෙන ඉදිරියට යා හැකියි’ ඇය ඇගේ අදහස් ප‍්‍රකාශ කළේ එසේය. ඊළඟට මා ඇගෙන් ඇසුවේ ඇගේ ’Briefing For a Descend in to Hell’ නවකතාව ගැනය. එය ඇය ම පවසන පරිදි අන්තර් අවකාශය පිළිබඳ කතාවකි. එංගලනත්යේ පාඨකයන් ඒ කතාව ගැන දක්වන ප‍්‍රතිචාරය කෙසේදැයි මම ඇසුවෙමි. ”එය වඩා හොඳින් වටහා ගෙන ඇත්තේ මෙහි තරුණ පාඨකයන්” එම නවකතාවෙන් කියැවෙන්නේ සම්භාවනීය මහාචාර්යවරයකු ගේ මනසෙහි බිඳවැටීමක් පිළිබඳවයි. ඔහුගේ පරිකල්පනාත්මක අත්දැකීම් මිථ්‍යා හා සාහිත්‍ය ලෝකය අතර අතරමං වන ඔහු යථා ස්වභාවයට පත්වන්නේ ඔහුගේ උමතු ලෝකය තුළින්. ඇය මෙහිදී ‘උමතු’ බව පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කරයි. උමතුව යනු ජීවිතයේ ම එක්තරා පැත්තක් බව පෙන්වා දෙයි. ඇගේ අදහස් හා සමාන අදහස් ඇති රොනල්ඩ් ලැන්ග් නම් ලේඛකයාගේ ලේඛන පිළිබඳව ඇගේ අදහස් ද දෙදෙනාගේ සමානකම් පිළිබඳවද මම ඇගෙන් විමසීමි. ”ඔව් අපි දෙන්නම සම්ප‍්‍රදායානුකූල සමාජය විසින් “උමතු බව“ පිළිබඳව කරන විනිශ්චයන් ගැන කතා කරනවා. උමතුව නම් මේ මානසික බිඳ වැටීම වර්ගීකරණයක ට ලක් කළ නොහැකියි. අප දෙදෙනාම මේ පිළිබඳව යම් ගවේෂණයක් කළා. මං හිතනවා ලැන්ග් ඒ අතින් සාර්ථකයි.” ”ඇමෙරිකානු මනෝචිකිත්සක තෝමස් සාස් (Thomas Szasz) ඔහුගේ “The Manufacture of Madness” ග‍්‍රන්ථයෙන් කරන්නෙත් එවැනි හෙළිදරව්වක්.” ලෙසිං මහත්මිය ඇගේ The Golden Note Book (1962) නම් අසම්ප‍්‍රදායික නවකතාව ප‍්‍රකාශනය කළ පසුව ඇයට මානසික රෝහල්වල ප‍්‍රතිකාර ගන්නා බොහෝ රෝගීන් ගෙන් ලිපි ලැබෙන්නට පටන්ගත්තේය. ඒ ඇය උමතු රෝගීන් ගැන එහි දක්වා තිබූ ආකල්ප නිසාය. ඇගේ මතයට අනුව ‘උමතුව‘ නම් රෝගයක් නැත. එයද සාමාන්‍ය තත්ත්වයකි. ඇගේ The Golden Note Book (1962) යන කෘතීන් දෙක ද සාහිත්‍ය ජීවිතයේ ගුප්ත අත්දැකීම්වලට වඩා ළංවෙයි. සමාජයේ ‘උමතු’ පුද්ගලයන් ලෙස සලකන බොහෝදෙනා මානුෂිකත්වයට වඩා ළංවූ, වින්දනයට ළැදි මිනිස්කම පිළිබඳව ගැඹුරින් දකින පුද්ගලයන් ලෙස පෙන්වා දෙයි. මේ කෘතීන් දෙක බුද්ධිමත් පාඨකයන් පවා මංමුලාකරවන කෘතීන් දෙකකි. ඊළඟට ඇය ලියූ Children of Violence (1952) |The temptation of Jack orknay| “Story of Unmarrying Man” වැනි කෘතිවලද ඇය ජීවිතය ගැඹුරින් දකී. ඇය අවසන් වරට ඇමෙරිකාවට ගියේ 1969 දීය. එහිදී ඇය විශ්වවිද්‍යාල කීපයක දේශන පැවැත්වූවාය. එහිදී ඇය ඉතා අගය කළ කර්ට් වොනෙගට් (Kurt Vonnegut) නම් ලේඛකයා හමුවූවා ය. ඇගේත් කර්ට් වොනෙගට්ගේත් කෘතීන් එක හා සමාන විය. එහෙත් ඇගේ කෘති වොනෙගට් ගේ කෘතිවලට වඩා සාහිත්‍යමය ගුණයෙන් පොහොසත්ය. ඇය ඔහුගේ කෘතීන් පිළිබඳව පැහැදී සිටියාය. ”ඒවා අගනා කෘතීන්” ඇය සඳහන් කළේ ඔහුගේ ”Slaughter house five” නම් කෘතිය විශේෂයෙන් නම් කරමිනි. ඊළඟට ඇය නෝර්මන් මේලර් (Norman Mailer) නම් වූ ලේඛකයා අගය කළාය. ඔහුගේ ‘‘Babary shore’ හා ‘The Deer Park’ නම් කෘති පිළිබඳව ඇය විශේෂයෙන් කියා සිටියේ ඒවාට විවේචකයින් ගෙන් සාධාරණය ඉටුනොවූ බවට අවධාරණය කරමිනි. ”මාර්තා ක්වෙස්ට් (Martha Quest) කතා මාලාව පටන් ගනිද්දී එහි අවසානය පිළිබඳ ඔබ සමහරවිට නොදැන ඉන්නත් ඇති. ඒ වගේම මාර්තා ගැන සානුකම්පිත වන පාඨකයා ඇගේ ජීවිතය අනුගමනය කිරීම ගැන ඔබටවත් කිසිවක් කළ නොහැකි වෙන්නත් පුළුවන්. එය සමාජයේ යම් වෙනසක් ඇති කිරීමට හේතුවී දැයි මම ඇසුවෙමි. එහෙත් ‘ලෙසිං’ මහත්මිය ඒ ගැන මුනිවත රැක්කාය. ඇගේ The Golden Note Book කෘතිය බොහෝ තරුණ පාඨකයන්ගේ අධ්‍යාත්මය වෙනස් කරන්නට සමත් විය. ඇගේ කෘතීන්ට සබඳකම් ඇති කෘතීන් කළ තවත් කතුවරුන් සිටී දැයි මම ඇසුවෙමි. ඇය එවිට සෝල් බෙලො (Saul Bellow) ඩී.එච්.ලෝරන්ස් (D. H. Lawrance) හා අප‍්‍රිකානු ලේඛක නාදින් ගොඩිනර් (Nadine Gordiner) ගැන සඳහන් කළාය. ඇය දකුණු අප‍්‍රිකානු ලේඛකයින් ප‍්‍රිය කළේ ඔවුන්ගේ කෘතීන්හි ඇගේ ළමා කාලයේ අප‍්‍රිකානු ජීවිතය ගැන සඳහන්ව ඇති හෙයිනි. ඇගේ කෘතීන්ගෙන් බොහෝ පුද්ගලයන් වෙනස් කිරීම්වලට භාජනය කළ හැකි වූ බව මම කීවෙමි. ”එහෙම වෙනස් වුණාද? එහෙම වෙනස් කළ හැකිදැ’යි මගෙන් පෙරළා ප‍්‍රශ්න කළ ඇය මගේ අදහස ගෞරවයෙන් අනුමත කළාය. ඇය මගෙන් ඇසූ ඊළඟ ප‍්‍රශ්නය වූයේ මා ප‍්‍රියකළ ඉංග‍්‍රීසි ලේඛකයින් පිළිබඳවයි. මම නේපොල් (Naipaul) ගේ In a Free State වැනි කෘති ප‍්‍රිය කරන බව කීවෙමි. ඇය මා සමඟ එකඟ වූයේ ඔහු දක්ෂ ලේඛකයකු බව පවසමිනි. මා ප‍්‍රියකළ තරුණ ඉංග‍්‍රීසි ලේඛිකාවක වන මාගරට් ඩ‍්‍රැබල් (Margaret Drable) ඇයද ප‍්‍රිය කළ ලේඛිකාවක් විය. ලෙසිං මහත්මිය ඇගේ කෘති අතුරින් The Needles eye නොකියෙව්ව ද ඇය ප‍්‍රිය කළාය. ඉංග‍්‍රීසි ලේඛකයින් හා විශ්වවිද්‍යාල අතර බැඳීම ඉතා අඩු බවත් ඇමෙරිකාවේ එසේ නැති බවත් ඇය කීවාය. ඊට හේතුව ඇමෙරිකාවේ නිර්මාණාත්මක ලේඛන වැඩසටහන් විශ්වවිද්‍යාලවලට ගෙනයාම බව ද ඇය අවධාරණය කළාය. එමෙන් ම ඇමෙරිකාවේ ලේඛකයන් වෙත ගොස් ඔවුන් හමුවී කතා බස් කිරීමට, අදහස් හුවමාරු කරගැනීමට විශ්වවිද්‍යාලවලින් ඉඩකඩ ලබාදීම නිසා තරුණ පරපුර හා ලේඛකයින් අතර බැඳීම වැඩිවීමට හේතුවක් වී ඇති බවද ඇය සඳහන් කළාය. ඇමෙරිකාවේ බොහෝ ලේඛකයන් තරුණ පරපුර අතර ජනප‍්‍රිය වීමට හේතුව ද මෙය බව ඇය තවදුරටත් කීවා ය. ”මං හිතන්නේ සාහිත්‍යයෙන් සමාජයේ යම් වෙනසක් ඇති කළ හැකියි. එසේ නොවන්නේ නම් තමන් අසාර්ථක වූ බව ලේඛකයින්ට හැඟෙනවා. ඇගේ අදහසට මම ද එකඟවීමි. එමෙන්ම ඩොරිස් ලෙසිං ගේ කෘතිවලින් ද පාඨකයින් ගේ සිතුම් පැතුම්වල යම් වෙනසක් ඇති කළ බව මම ඇයට කීවෙමි. ඇය එය ගෞරවයෙන් හා නිහතමානීව පිළිගත්තා ය. ඇය හා ගතකළ පැය දෙක ඉතා සොඳුරු කාලයක් වූයේ ය. සිත්ගන්නා සුලු කාන්තාවක හා නිහතමානී ලේඛිකාවක ද වන ඇය සමඟ අදහස් හුවමාරු කරගැනීමට ලැබීම මගේ වාසනාවකි. මා නියම “ඩොරිස් ලෙසිං” ලේඛිකාව හඳුනාගත්තේ ඇය හමුවී කතා බහ කළ පසුවය. සංක්ෂිප්ත අනුවාදය දයා ඩි.ෆොන්සේකා silumina.lk/punkalasa/2008 10 26
Posted on: Mon, 02 Sep 2013 16:17:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015